Saturday, March 10, 2012

තවත් එක ඇත්ත කතාවක්..!!!

මුලින්ම කියන්න එපැයි..මේක මගේ බ්ලොග් එකේ දැම්මට මේක මං ලියපු එකක් නෙවේ ඕං..
තරහ අවසර..!!!!!
මේක වාර්තා කරපු ඒ දෙන්නගේ විස්තර මේ ලිපියේ අන්තිමටම තියේ..
මේක දැන ගන්න වටින කතාවක් හින්දයි දාන්න හිතුනේ..විශේශයෙන්ම මේ මගේ ගං පලාත පැත්තේ සිද්ද වෙච්ච (කාලකන්නි) සිද්දියක්...!!!
දේශපාලන බලය සහ පාතාලේ අතර තියන ආදරනීය(තුප්පහි) සම්බන්දෙත් මේකෙන් කියවෙනව..

අපිට බන කියන මේ දේශපාලුවන්ගේ හෙලුවත් මේකෙන් හොදට පෙන්නුම් කරනව..
ම්ම්..බලන්නකෝ එහෙන්ම්..මේක කියෝපු අය ඇති ඕන තරම්..ඒ අය සමා වෙන්න ඕන..!!!





Sudesh Karunathilake's Photos
කුඩුකාරයන් දූෂකයින් රෙදි අස්‌සේ
දෙස්‌පාලනය අද බලු නකුටට බැස්‌සේ!


කහවත්ත කොටකෙතන ගමේ මිනිස්‌සු යළිත් වරක්‌ රතිඤ්ඤා පත්තු කරති. පෙරහර කරති. පෙළපාලි යති. ඒ තම ගමේ සිටි අහිංසක මවක්‌ හා දුවක්‌ මරාදැමූ කාලකණ්‌නීන් පොලිසීය විසින් අත්අඩංගුවට ගැනීමේ ප්‍රීතිය නිමිත්තෙනි. 

මීට ඉහතත් කහවත්තේ මිනිස්‌සු කුරුවිට නගරයට පැමිණ උද්ඝෝෂණය කළහ. ඒ ස්‌වකීය ගම්පළාතේ සිද්ධවූ අහිංසක අසරණ වියපත් කාන්තාවන් පිරිසකගේ මරණයන්ට වගකිවයුතු අපරාධකරුවන් පොලිස්‌ අත්අඩංගුවට ගැනීමට බලකිරීම සඳහාය. අපරාධයක්‌ සිදුවූ විට සාධාරණය ඉටුකරගැනීමට මිනිස්‌සු පාරට බසිති. එසේම අපරාධකරුවෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වූවිට සැණකෙළි පවත්වති. මෙසේ අපරාධකරුවෙක්‌ පොලිස්‌ අත්අඩංගුවට පත්වීම මේ රටේ මිනිස්‌සුන්ට ප්‍රහර්ෂයට කාරණාවකි. උත්සව පවත්වන්නට නිමිත්තකි. 

අපට අප ජීවත්වන පරිසරය ගැන වටහා ගන්නට එපමණක්‌ම සෑහේ. එවැනි වටපිටාවක සිට මේ කතාව ලියන්නේ කියවා එහි කුණු රසය විඳින්නට නොවේ. අප මේ පැණි කමින් සිටින්නේ මරණ තුනක්‌ ඉදිරිපිට නොව මරණ එළෝ කෝටියක්‌ අභියසය යන යථාර්ථය අවබෝධ කරගැනීම සඳහාය.

වියපත් කාන්තාවන් රැසක්‌ දූෂණය කර මරා දැමූ කාලකණ්‌නි සිද්ධි දාමයක්‌ මුල්කරගෙන මෑත කාලයේදී කහවත්ත කැළඹුනේය. මේ සිද්ධි හරහා එක්‌ස්‌ µයිල්ස්‌ ගණයේ අද්භුත ගොංපාට්‌ එකක්‌ මවා රටටම කික්‌ එකක්‌ "දෙන ආකාරයේ වාර්තාකරණයක මාධ්‍ය නිරත වූයේය. එහි සමහර උච්ඡතම අවස්‌ථාවල දී පාඨක හෝ ශ්‍රාවක ප්‍රජාවටත් කහවත්තට ගොස්‌ වියපත් කාන්තාවකට අතවර කර එන්නට නොසිතුනානම් පුදුමය. අවසානයේදී මේ ඝාතන රැල්ල නවතා ජීවත්වීම සඳහා සහතිකයක්‌ මිනිස්‌සුන් විසින් ලබා ගත්තේ පාරට බැස උද්ඝෝෂණය කිරීමෙනි. 

කහවත්තේ කොටකෙතන ගමේ මේ මව සහ දියණිය ඝාතනය වන්නේ ඒ සහතිකය ලබාගෙන මිනිස්‌සුන් හුස්‌මක්‌ කටක්‌ ගන්නට තැනූ මුල්ම මොහොතකදීය. කහවත්ත කොටකෙතන සමඟි මාවතේ පදිංචිව සිටි දාහත් හැවිරිදි කාවින්ද්‍යා චතුරංගී දියණිය සහ ඇයගේ මව වූ පනස්‌ දෙහැවිරිදි නයනා නිල්මිණි ඝාතනය කර තිබියදී පසුගිය පෙබරවාරි පළමුවෙනිදා පොලීසිය විසින් සොයා ගැනුණි. තරුණ දියණියගේ මලසිරුර හමුවන්නේ නිවසේ සිට සැතපුම් කීපයක්‌ ඈත රබර් වත්තක තිබියදීය. යළිත් පැරණි මරණබිය කහවත්තට දැනුණි. තරුණ දියණියගේ මරණය මීට පෙර කහවත්ත ප්‍රදේශයේ සිදුවූ කාන්තා මරණ ගණනාවකටම සමාන වූයේය.

යළිත් කහවත්ත පුවත් මවන "රසගුලාවක්‌" වූයේය. සමහරු මනඃකල්පිතයන් අතරහිඳ මේ තරුණ දියණියගේත් මවගේත් පුද්ගලික ජීවිත වල රසමුසු තැන් ඉවකරමින් සිටියහ. මුදල් යහමින් නැති මේ මව විසින් දියණිය සමාජගත කළ ආකාරය ගැනත්, නිසි රැකියාවක්‌ නොකරනා නිවසේත් නැති සැමියා හා මේ "රූමත්" හෝ "සුරූපී" බිරිඳගේ ජීවිතය ගැනත්, ඔවුන් හා සම්බන්ධ යෑයි කියනා පුද්ගලයින් ගැනත් නොකියා කියවෙන කුතුහලය දනවනසුළු වාර්තා පලවිනි. ඒ සියලූ කතා හරහා මියගිය කාන්තාවන් දෙදෙනා මිනී වලවල් වලින් ඇද යළිත් දූෂණය කර මරා දැමුනි. අවසාන මොහොතේ පවා සමහර වාර්තා වල දැක්‌වූයේ කාවින්ද්‍යා තරුණ දියණිය දූෂණය වූ ආකාරය ගැන කතාය. සමාජය උත්ප්‍රේරණය වූයේ මෙවැනි දේ අසමිනි. නොඑසේනම් දකිමිනි. 

පුරා සති පහකින් පසු දැන් මේ මරණවල සුලමුල හෙළිවී තිබේ. මේ කාලකණ්‌නි මිනී මැරුමේ වේසකම් නැත. කියවා ලිංගිකව උත්ප්‍රේරණය වියහැකි දූෂණය කිරීම්ද නැත. එබැවින් මෙය මෙතෙක්‌ ගොඩනැගූ "ආතල්" කඩා අනතුරුව ප්‍රේක්‌ෂක බලාපොරොත්තු බිඳ දමනා ආකාරයේ අපරාධයකි. එහි වන්නේ මේ සමාජය වසාගත් නියත ම්ලේච්ඡ තිරිසන්කමේ බිහිසුණු ප්‍රකාශනයක්‌ පමණි. එය පෙළගැසෙන්නේ මෙසේය. 

නයනා නිල්මිණිත් ඇයගේ සැමියාත් ජීවිතය පටන්ගන්නේ කහවත්තෙනි. ඇයගේ සැමියා කහවත්තේ ඉපදුන සාමාන්‍ය මැණික්‌ ව්‍යාපාරිකයෙකි. එහෙත් ඔහු ව්‍යාපාරිකයෙක්‌ වශයෙන් සාර්ථක වූවෙක්‌ නොවේ. බීමත් කමත් නොසැලකිල්ලත් නිසා නැත්තටම නැතිවන මේ පවුල ඇඹිලිපිටිය අනුරාධපුර වැනි ප්‍රදේශවල ජීවත් වීමෙන් අනතුරුව කොටකෙතන ගමට පැමිණ පදිංචිවන්නේය. 

මේ වනවිට එම පවුලේ දරු දෙදෙනෙක්‌ සිටියේය. ඒ දියණියක්‌ හා පුතනුවෙකි. වැඩිමහළු වු පුතා අධ්‍යාපනය හමාර කර කොළඹ පුද්ගලික ආයතනයක රැකියාවක්‌ කළේය. පියාද අසාර්ථක වූ ව්‍යාපාර ජීවිතයට සමුදී යහපත් ජීවිත පරිසරයක්‌ හදාගැනීමට කොළඹ පැමිණියේය. රත්නපුර පර්ගියුසන් උසස්‌ බාලිකා විද්‍යාලයේ ඉගනුම ලබනා දියණියත් සමග මව කොටකෙතන ගමේ නිවසේ වාසය කළාය. කොළඹ රැකියාව කරනා නයනා නිල්මිණිගේ සැමියා නිවසට පැමිණියේ මසකට වරක්‌ හෝ දෙවරක්‌ පමණය.

නිල්මිණිලාගේ නිවසට ඉදිරිපිට නිවසේ වාසය කළේ රාජු නැමැත්තෙකි. රාජු ගොඩකවෙල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්‌ වූ එල්. එම් ධර්මසිරි නැමැත්තාගේ සහෝදරයෙකි. ධර්මසිරි මේ රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයා වන ජෝන් සෙනවිරත්නගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකි. 

ධර්මසිරිගේ එක්‌ පුත්‍රයෙක්‌ බන්ධනාගාර නියාමක වරයෙක්‌ ලෙස සේවය කළේය. වැලිකඩ හිරගෙදර තුළදී මත්කුඩු හා රුපියල් ලක්‌ෂ ගණනාවක මුදල් සමග අත්අඩංගුවට පත්ව දැන් මහඋළුගෙදර ලගිනා මේ ජේලර්ට රැකියාව ලබා දී තිබුණේත් ජෝන් සෙනවිරත්න විසින් බව කියෑවිනි. 

ධර්මසිරිගේ සොහොයුරා වන රාජු කොටකෙතන ගමේ ප්‍රසිද්ධව සිටියේ කාලකණ්‌නි අපතයෙක්‌ ලෙසය. ඔහුට දරුවන් සිව් දෙනෙක්‌ සිටියේය. එහෙත් ඔහුටත් බිරිඳටත් රැකියාවක්‌ තිබුණේ නැත. දේශපාලන බලයද සහිතව කසිප්පු පෙරීම, ගංජා විකිණීම එළිපිටම කරගෙන ගියත් රාජු බොහෝවිට යෑපුනේ සොයුරු පළාත්සභා මන්ත්‍රී වරයාගේ නිවසිනි. 

මීට අමතරව දේශපාලන බලපුළුවන්කාරකම් වල හයියෙන් රත්නපුරයේ කුඩු ජාවාරම් කළ ස්‌වකීය ඥාතිවරුන්ගේ බත්බැලයා ලෙසත් රාජු කටයුතු කළේය. රාජුලාගේ කුඩු කෙරුවාවේ හැටි ස්‌වභාවය ගමේ උදවියගේ අතේ පත්තුවන්නේ එක්‌ සිද්ධියක්‌ මුල් කරගනිමිනි. 

මුලින් කී පරිදි රාජු ජීවත් වන්නේ නිල්මිණීලා ගේ නිවස ඉදිරිපිට නිවසේය. කාවින්ද්‍යා දියණිය පාසල් යන්නට එළියට බට විට බොහෝ දිනවල රාජුගේ බිරිඳ ඇය අතේ බත්මුලක්‌ යවන්නීය. එසේ බත්මුල යවන්නේ රාජුගේ අයියාවන ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරිගේ ජේලර් පුතාටය. ජේලර් පුත්‍රයා කාවින්ද්‍යා හමුවී රත්නපුරේදී බත්මුල අරගන්නේය. අසල්වැසියෙක්‌ විසින් දෙන බත්මුලක්‌ දන්නා අඳුනන කෙනෙක්‌ වෙත ගෙනගොස්‌ දීමේ අරුමයක්‌ නැති නිසා කාවින්ද්‍යා මේ ගැන ස්‌වකීය මෑණියන්ටවත් අමුතුවෙන් කීවේ නැත.

මෙසේ රාජුගේ බිරිඳ විසින් කාවින්ද්‍යා අතේ ජේලර් පුතා වෙත බත්මුලක්‌ යෑවූ එක්‌ දිනයක අතරමගදී අසනීප වන ඇය පාසල් නොගොස්‌ යළි ගෙදර ආවාය. ගෙදර පැමිණි දියණියගේ පොත් බෑගය ඇර බැලු නයනා නිල්මිණී මෙම බත්මුල දැක ඒ ගැන සිය දියණියගෙන් විමසා තිබිණී. ඇය බත්මුලේ කතාව මවට කීවාය. නිල්මිණී බත්මුල ඇර බැලූවේ නිකමට මෙනි. ඇය ක්‌ලාන්ත වූවාය. එය බත් මුලක්‌ නොව, බත්මුලක සැ`ගවූ මත්කුඩු මුලකි. මෙපමණ කාලයක්‌ මේ නොදරුවා අත මේ කාලකණ්‌නින් විසින් ප්‍රවාහනය කර තිබුණේ කුඩුය. බැරිවීමකින් හෝ මේ අසරණ දැරිය පොලීසියට කොටුවී නම් ඉන් පසු නිර්මාණය වන තත්aවයට වඩා මේ මරණය යහපත් වන්නට තිබිණි. නිල්මිණී ආවේගයෙන් රාජුලාගේ නිවසට ගියාය. මේ අපරාධය පිළිබඳ විමසමින් ඇය වේදනාව පහවනතුරු උන්ට බැණ වැදී තිබුණේ මේ කාලකණ්‌නි කුඩු ජාවාරම රටට කියන වග පවසමිනි.

එදා සිට නයනා නිල්මිණීලා රාජුගේ නිවසේ එකෙක්‌ දිහා බැලූවේවත් නැත. කෙසේ වෙතත් මේ සිද්ධියෙන් සතියකට පසුව ධර්මසිරිගේ ජේලර් පුතා වැලිකඩ බන්ධනාගාරය තුළදීම මිලියන ගණනක කුඩු හා තවත් ලක්‌ෂගණනාවක මුදලක්‌ සමග පොලීසියට කොටුවිනි. මේ 

ජේලර් කාරයා කළ මහාපරිමාණ කුඩු ජාවාරමේ සිද්ධි ඉන් අනතුරුව එකින් එක හෙළිවූයේය. ධර්මසිරිත්, රාජු ඇතුළු බත් බැලයනුත් කල්පනා කරනු ලැබුවේ මේ ඔත්තුව පොලීසියට දුන්නේ මේ මව සහ දියණිය විසින් බවය. ජනවාරි 31 වෙනිදා රාජු මුල්වී කාවින්ද්‍යා දියණිය හා ඇයගේ මව වන නයනා නිල්මිණී ඝාතනය කරන්නේ ඒ සැකය පදනම් කරගනිමිනි. 

සිද්ධිය වූ ජනවාරි 31 දින කාවින්ද්‍යාත් ඇයගේ මවත් රත්නපුරයට ගොස්‌ ගෙදර පැමිණ ඇත්තේ රාත්‍රී නවයට පමණය. ඔවුන් නිවසට පැමිණෙනතුරු ඝාතකයා මග බලාගෙන සිට ඇත. අනතුරුව මව සහ දියණිය මරා දැමීම සඳහා එම නිවසේ දොර ඇරදෙන්නේ ඝාතකයාගේ බිරිඳය.

"මම රාජුගෙ නෝන. අපි අතරෙ ප්‍රශ්න තියාගන්න ඕන නෑ. අපි කතාකරලා බේරගමු අක්‌කෙ." 

රාජුගේ බිරිඳ එසේ කියා තිබිණි. නයනා නිල්මිණී නිවසේ දොර හරින්නේ ඉන් අනතුරුවය. ඒ සැනින් නිවසට ඇතුළුවන රාජු නිවසේ දොර වසා යතුරු ලාගෙන නයනා නිල්මිණීගේ හිසට අතේ වු මන්නා පිහියෙන් පහර දී ඇත. විලාප නගමින් බිම ඇදවැටුණු ඇයට රාජු විසින් තවත් පහර කීපයක්‌ එල්ලකර තිබිණි.

ඒ හ`ඩත් සමග කාමරයෙන් එළියට පැමිණෙනා කාවින්ද්‍යා තම මව කපා කොටා මරාදමනු දැක තිබේ. ඒ සැනින් කාවින්ද්‍යා වෙතටද පැන ඇයට ද මන්න පිහි පහර කීපයක්‌ එල්ලකළ මේ කාලකණ්‌නියා නිවසේ දොර වසා දමා ලේ තැවරුණ ඇ`දුම් පිටින් තම නිවසට පැමිණ ඇත. ඔහුගේ විලාශය නිවසේ දරුවන් විසින් දැක තිබිණි. බියපත් වූ ඔවුන් නින්දට ගොස්‌ තිබුණේ කිසිවක්‌ කතා කරගන්නටවත් නොහැකිවය. 

මේ මිනීමැරුම් සිදුවූ දිනට පසුදා එනම් පෙබරවාරි 01 වෙනිදා අලූයම 3.00 පමණ හිතවත් ත්‍රී රෝද රථ රියදුරෙක්‌ සමග යළිත් නයනා නිල්මිණිගේ නිවසට යන රාජු කාවින්ද්‍යා දියණියගේ සිරුරේ ඇ`දුම් ඉවත්කර සිරුර නිවස පිටුපස ලිඳ ළඟට රැගෙන ගොස්‌ සෝදා පිරිසිදු කර තිබිණි. අනතුරුව සිරුර ඇඳ ඇතිරිල්ලක ඔතා කරාබු යුගලද ගලවාගෙන ඕපාතවත්ත කැලෑ ප්‍රදේශයට ගෙනගොස්‌ දමන්නට හේ කටයුතු කළේය. එසේ කරනු ලැබ තිබුණේ "කහවත්තේ ඝාතන රැල්ලට" වසන් වී පොලිස්‌ පරීක්‌ෂණ නොමග යවනු සඳහාය. 

අනතුරුව යළිත් රට කැළඹිනි. ඝාතනය සොයන්නට විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් පහළොවක්‌ කහවත්තට ආවේය. පුරා සති පහක්‌ පරීක්‌ෂණ කළේය. පන්සලේ හාමුදුරුවන් ඇතුළු පන්සීයකගෙන් ප්‍රශ්න කෙරිනි. අවසානයේදී පොලිස්‌පතිවරයා විසින් කොළඹින් තවත් විශේෂ පොලිස්‌ කණ්‌ඩායමක්‌ කහවත්තට යවනු ලැබුවේය. කෙසේ වෙතත් රාජුවත් ඔහුගේ බිරිඳවත් පොලීසිය විසින් පැහැදිලි ලෙස අත්අඩංගුවට ගන්නේ ඔවුන්ගේ දරුවන් විසින් සිද්ධිය වූ දින සිය පියා ලේ පෙරාගෙන නිවසට පැමිණ සිටි ආකාරය පිළිබඳ තොරතුරු කීමත් සමගය. 

අප ජීවත් වන්නේ මොන ජාතියේ රටකදැයි සිතෙන්නේ සිහිබුද්ධියක්‌ සහිතව මේ සිද්ධි දාමය විමසන විටය. මිනී මරන්නේ මියගිය නිවස ඉදිරිපිට ජීවත්වන උන්ය. ඉදිරිපිට නිවසේ සිටි රාජු පාදඩයෙක්‌ බව ප්‍රදේශයම දැන සිsටියේය. ඒ කාලකණ්‌නින් මේ මව සහ දියණිය සමග දැඩි වෛරයකින් පසුවන බව ගමේ මිනිස්‌සුන්ට රහසක්‌ නොවීය. සිද්ධිය වූ දා රාජුගේ හැසිරිම ගැන සාක්‌ෂිත් ඇති බව කියෑවිනි. මෙවැනි සිද්ධියක්‌ සඳහා සති හයක්‌ තිස්‌සේ පරීක්‌ෂණ කරන උන් අංගවිකල මන්දබුද්ධිකයින්ද, නොඑසේ නම් බූරුවන්දැයි රටම ප්‍රශ්න කරන්නට වූයේ ඒ පසුබිමේදීය. මේ අතර විටින්විට මේ මිනීමරුවාත් ඔහුගේ බිරිඳත් පොලිසිය විසින් අත්අඩංගුවට ගත්තේය. ගත්ත පරක්‌කුවෙන් නිදහස්‌ කළේය. 

ඇත්තම කියනවානම් කහවත්ත පොලීසියට සිද්ධිය සම්බන්ධ මූලික පරීක්‌ෂණවත් නිසිලෙස කරන්නට මේ පාදඩ දේශපාලනයෙන් ඉඩක්‌ ලැබී තිබුණේ නැත. මිනී මැරුවේ කවුද යන්න කොටකෙතන ගමේ උන් දැනසිටියහ. පොලීසිය දැන සිටියේය. විටින්විට පොලීසියට මුන් අත්අඩංගුවට ගන්නට සිද්ධවූයේ හතර විලි ලැඡ්ජාවෙන් බේරීම සඳහා රටට පෙනෙන්නටය. එසේ අත්අඩංගුවට ගන්නා මේ මිනීමරුවන්ගෙන් ප්‍රශ්න කිරීමටවත් පොලීසියට ඉඩ නොලැබුණ ආකාරය ගැන මේ පරීක්‌ෂණයට සම්බන්ධ වූ පොලිස්‌ නිලධාරීන්ම විටෙක කියා සිටියේය. නියපිටින් පහරක්‌ නොගසා කළ සුමට විමසීම් වලින් හෙළි කරගත හැක්‌කක්‌ නොමැති තැන මේ අපරාධකරුවන්ගේ සුලමුල අනාවරණය කර ගැනීම සඳහා උන්ගේ අසරණ නොදරුවන්ගෙන් ප්‍රශ්න කිරීමට පොලීසියට සිද්ධවුනේය. නොදරුවෝ බොරු නොකියති. උන්ගේ ප්‍රකාශ අනුව කළ මෙහෙයුම් වලදී බඩුත් සමග අපරාධකරුවන් කොටුවී අපරාධයේ සුලමුල ද හෙළිවූයේය.

මේ කාලකණ්‌නි අපරාධය යළිත් අපට අප ගැනත්, අපේ රට ගැනත් තක්‌සේරුවක්‌ ලබා දේ. රටේ රාජ්‍ය පරිපාලන ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් වරු කුඩු විකුණති. හයක්‌ හතරක්‌ නොදන්නා පාසල් දරුවන් යොදාගෙන කුඩු ප්‍රවාහනය කරති. එම දේශපාලකයින්ගේ දරුවෝ තමන් සතු කුඩු තොග සමගම රටේ ආරක්‌ෂක මර්මස්‌ථාන වලදී කොටුවෙති. අවසානයේදී ඒ ජාවාරම හෙළිවීම සම්බන්ධයෙන් සැක පහළකර නින්දිත ලෙස මිනී මරති. එම මිනී මැරුම් යටපත් කිරීම සඳහා කළහැකි හැම පාදඩ වැඩක්‌ම කරති. තුට්‌ටු දෙකේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරයෙකුට මෙවැනි කෙළියක්‌ කළ නොහැකි බව මොළේ කළඳක්‌වත් තිබෙනා ඕනෑම එකෙකුට තේරුම් ගත හැකිය. 

කෙසේ වෙතත් ප්‍රාදේශීය සභා මන්ත්‍රී එල්.එම් ධර්මසිරි වහාම ක්‍රියාත්මක වන පරිදි තම සම්බන්ධීකරණ ලේකම් කමින් ඉවත්කළ බව ජෝන් සෙනවිරත්න කියා තිබුණේය. මෙවැනි ජාතික අපරාධ පිළිබඳ මේ මහත්වරුන්ගේ තක්‌සේරුව එතරම් සිල්ලරය. සිද්ධවී ඇති දේ ගැන තවත් කිවයුත්තක්‌ නැත. එක්‌ අතකට මේ කාලකන්ණින්ට දෙස්‌ දෙවොල් තබා පලක්‌ නොවේ. රටේ සිටිනා තරමක්‌ අපරාධකාරයින්ද කුඩුකාරයින්ද ස්‌ත්‍රී දූෂකයින්ද මේ තැන්වලට පත්වන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ වල ප්‍රතිඵල ලෙස නොව, මේ රටේ මිනිස්‌සුන්ගේ කැමැත්ත අනුවය. 

මේ නෙලාගන්නේ තම තමන් වැපිරූ අස්‌වැන්නේ තරමය.

ජානක ලියනආරච්චි
හේමන්ත රන්දුනු